එක්සිය විසිවසක  මහාමායා පුරාවෘත්තයෙහි දිගහැරුම

(වර්ෂ 1908-2020)

 

දකුණුලක සුන්දර මුහුදු තීරයට මුහුණලා සොඳුරු පරිසරයක පිහිටි මහාමායාවෝ වසර එකසිය දහයක් තරම් ඈතට දිවෙන ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අභිමානවත් බාලිකා පාසලකි. සිය දහස් ගණන් දරුවන්ගේ සිප් පහස නිවාලමින් දෑ හිතකාමී ගුණධර්ම අගයන යහපත් පෞරුෂයෙන් පිරිපුන් දියණියන් ලොවට දායාද කරමින් ඕ‍තොමෝ පැමිණි ගමන් මඟ කටුකොහොලින් මෙන්ම විවිධ ජයග්‍රහණයන්ගෙන්ද යුක්ත වූ අර්ථවත් ගමනකි. දකුණු ලක විශිෂ්ටතම බාලිකා පාසල වීමේ දැක්මෙන් ඉදිරියටම යන මහාමායාව බෞද්ධ පාසලක් ලෙස කිතුගොස පතුරුවමින් සිටින්නීය.

S.J.P.M.නිවාසයේ නේවාසිකව ලැගුම් ගෙන සිටි මාරි කන්‍යා සොයුරිය මාතර වෙරළ තීරය ඉදිරිපිට කන්‍යාරාමයක් ආරම්භ කිරීමේ මහඟු කටයුත්තට පුරෝගාමීව කටයුතු කළාය. වර්ෂ 1905 දී කන්‍යාරමය තැනීමේ කටයුතු ආරම්භකරන ලද අතර එහිදී ඇයට රිබෝවර්ස් ද මැල් මහතාගේ හා එම මහත්මියගේ අනුග්‍රහය හා මඟපෙන්වීම ඉහළින්ම ලැබී තිබුණි. 1905 වර්ෂ‍යේ ඇරඹි කන්‍යාරාමය ඉදිකිරීමේ කටයුතු 1908 නිමාවට පත් කරන ලදී. එය අනාථාශ්‍රමයක් ලෙස 1908 වර්ෂයේදීම වැන් ලිබින් හර්බර්ට් පියතුමා විසින් නම් කර පවත්වා ගෙන යන ලදී. මෙහි කාර්යයන් සඳහා උබින් වැන් හා සොෆියා ග්‍රිවජින් කන්‍යා සොයුරියන් තම දායකත්වය උපරිම ලෙස හර්බර්ට් පියතුමාහට ලබාදෙන ලදී. අනාථාශ්‍රමයේ ඉගැන්වීම් කටයුතු සඳහා හෙල්වජින් කන්‍යා සොයුරිය 1908 අප්‍රේල් 09 වෙනිදා මාතරට පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. එදින ඇය ගාල්ලේ සිට මාතරට දුම්රියෙන් පැමිණි බව සදහන්ව ඇති අතර, අනාථාශ්‍රමයේ දරුවන්ට මුලින්ම අකුරු කියවූ තැනැත්තිය ලෙස ඇය ඉතිහාසගතව ඇත. මාතරට පැමිණිම හරසරින් පිළිගනිමින් කන්‍යාරාමය දෙපස හා වෙරළ තීරය කොඩිවලින් සරසා උත්සවශ්‍රීයක් ගෙන තිබුණු බව පැවසේ.

                ස්ටෑන්ඩඩ් මාක් ඇන්තනී සහ ඇලස් යන පියතුමන් හා කන්‍යා සොයුරියන්ගේ මූලිකත්වයෙන්හා ශාන්ත මරියා දේවස්ථානයේ මෙහෙයවීමෙන් අධ්‍යාපන ආයතන තුනක් ආරම්භ කරන ලදී. මාතර කොටුවේගොඩ ශාන්ත මරියා දේවස්ථානය ආශ්‍රිතව රෝමානු කතෝලික සභාව මගින් මෙම අධ්‍යාපන ආයතන තුන ආරම්භ කරන ලදී. එම ආයතන තුන අතරින් දෙකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙසත් ස්වභාෂා පාසලක් ලෙස ශාන්ත මරියා කන්‍යාරාමය අනුබද්ධිතව අනිත් අධ්‍යාපන ආයතනයත් පවත්වාගෙන යන ලදී.

                  වර්තමාන සර්වේශස් විද්‍යාලය හා ශාන්ත මරියා කන්‍යාරාමය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළ ආයතන දෙක ලෙසත් ස්වභාෂා අධ්‍යාපන ආයතනය ලෙස අනෙක් අධ්‍යාපන ආයතනයත් පවත්වාගෙන යන ලදි. මුලින් ගැහැණු ළමයින්ට හා පිරිමි ළමයින්ට වෙන් වෙන් වශයෙන් ශාන්ත මරියා කන්‍යාරාමය හා සර්වේශස් විද්‍යාලය  ආරම්භ කෙරුනද ඒ සඳහා ගැහැණු පිරිමි භේදයකින් තොරව සිසුන් ඇතුළත් කර ගන්නා ලදී. ස්ව භාෂා අධ්‍යාපන ආයතනය “මඩම" වශයෙන් හදුන්වන ලදී. එහි දෙමාපියන් නොමැති අනාථ දරුවන් රඳවා තබා අනාථ නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව මහාමායා ඉතිහාසය සාක්ෂි දරයි.

අද එලෙස ඇරඹි මහාමායා බාලිකා විද්‍යාලය කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකි. 1908 ජනවාරි මස 05 දින ආරම්භ  කළ මෙම විදුහලෙහි කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් ගුරුවරු ලෙස සේවය කර ඇත. මුල් කාලයේදී ගැහැණු ළමුන් සඳහා පමණක් වෙන්ව තිබූ මෙම පාසල 1908 සිට පිරිමි ළමුන්ට ඉගනීමේ පහසුකම් සපයා තිබුණි.

                    ශාන්ත මරියා කන්‍යාරාමයේ හා සර්වේශස්  විද්‍යාලය ඉංග්‍රීසි  මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ අතර දෙමව්පියන් තම දරුවන් ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය සඳහා යොමු කර වීමේ නැඹුරුවක්ද පැවති බව හෙළිවේ. ‘මඩමෙහි (අතීත මහමායාවෙහි) අධ්‍යාපන කාර්යය සඳහා මුලදී සිසුන් ඇතුළත් කර ගැනීමක් සිදු නොවූ අතර සිංහල භාෂා පාසලක් වූ මෙහි ආරම්භ‍යේදී සිසුන් 25 දෙනෙක් පමණක් ලියාපදිංචි කර තිබුණි. නමුත් 1908 මැයි මාසය ආරම්භ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව සියයක් දක්වා වර්ධනය වූ බව පාසල් පැරණි මූලාශ්‍ර සාක්ෂි දරයි. මැහුම් ගෙතුම් වැනි හසුරු කුසලතා ආශ්‍රිත වෘත්තීය පුහුණුවීම් කරන ස්ථානයක් ලෙස ආරම්භක අවධියේදී පැවතිණ.

 (කන්‍යා සොයුරිය දරුවන් බලාගනිමින්)

 

ආරම්භයේ සිට අඩසියවසකට අධික කාලයක් කතෝලික කන්‍යා සොයුරියන්ගේ පාලනය යටතේ පවත්වාගෙන ආ මෙම පාසල රෝමානු කතෝලික සභාව මගින් රජයේ අනුබද්ධ සිංහල පාසලක් ලෙස 1911 වර්ෂයේදී ලියාපදිංචි කරන ලදී. එහි මුල් ගුරුන්නාන්සේ නමින් ආයතන ප්‍රධානියෙක් ද පත්කර ඇත.

 (පාසලේ මුල් ගුරුන්නාන්සේ)

ශාන්ත මරියා කන්‍යාරාමය හරහා එහි පාලන කටයුතු සිදුවූ අතර මුල් ගුරුන්නාන්සේ ශාන්ත මරියා කන්‍යාරාමයේ නීතිරීති මත පාසල පවත්වාගෙන යන ලදී.

          1923 දී මෙම විද්‍යාලය කොටුවේගොඩ විද්‍යාලය නමින් නම් කර ශාන්ත මරියා කන්‍යාරාමය හරහා පාලන කටයුතු සිදුව ඇත. ශාන්ත මරියා කන්‍යාරාමයේ උත්සව කටයුතු සඳහා සහභාගී වන බැතිමතුන්ට නවාතැන් සපයන ස්ථානයක් ලෙස බොහෝවිට කොටුවේගොඩ විද්‍යාලය යොදාගෙන ඇත.1911 දී රජයේ අනුබද්ධ සිප්හල පාසලක් වුවද විද්‍යාලය ස්වාධීනව කටයුතු කළ බවක් නොපෙණින. එය හුදෙක් ශාන්ත මරියා කන්‍යාරාමයේ පාලනයට නතුව ක්‍රියාත්මක වූ අධ්‍යාපන ආයතනයක් ලෙස පැවතිණ.

          ශාන්ත මරියා කන්‍යාරාමය අනුබද්ධිතව පැවති කොටුවේගොඩ ස්වභාෂා විද්‍යාලය 1962 දී පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ පනත යටතේ ස්වාධීනපාසලක් බවට පත්විය. වසර 50 ට ආසන්න කාලයක් ශාන්ත මරියා කන්‍යාරාමයේ කතෝලික සොයුරියන් යටතේ ක්‍රියාත්මක වූ කොටුවේගොඩ විද්‍යාලය ඉන් අනතුරුව ස්වාධීනව කටයුතු කරමින් වර්තමානය දක්වා සුබවාදී ගමන් මඟක පියවර තබමින් සාර්ථකත්වයට පැමිණ තිබේ.

මහාමායා විදුබිමෙහි ඉතිහාසගත විදුහල්පතිවරු

  1. ආර්.පී.ඩී. විජේසූරිය විදුහල්පතිනිය(1962-1977)


කන්‍යාරාමයේ කතෝලික කන්‍යා සොයුරියන් යටතේ ක්‍රියාත්මක වූ කොටුවේගොඩ පාසල ස්වාධීන පාසලක් ලෙස රජයට පවරා ගැනීමත් සමඟ රජය මගින් විදුහල්පතිවරයෙකුද පත්කරන ලදී. රජයට පවරා ගැනීමෙන් පසු ප්‍රථම විදුහල්පතිතුමිය ලෙස ආර්.පී.ඩී. විජේසූරිය මහත්මිය පත්කර ඇත.ඇයගේ සේවා කාලය වසර 15කි.

  1. එච්.එල්.පී.ඩී.ජයවීර මිය (1977 – 1987)

ඇයගේ සේවාකාලය වසර 10කි. එම කාලය තුළ පාසලේ සුවිශේෂී වෙනස්කම් රාශියක් ඇති කරමින් පාසල ප්‍රගතිය කරා රැගෙන ගොස් ඇත.

11 ශ්‍රේණිය දක්වා පැවති පන්තිවලට අමතරව අ.පො.ස. (උ.පෙළ) පන්ති ආරම්භය මෙතුමියගේ කාලය තුළ සිදුවිය. මේ කාලයේ සිදු වූ තවත් සුවිශේෂී කටයුත්තක් වූයේ කොටුවේගොඩ විද්‍යාලය නමින් ව්‍යවහාර වූ නාමය වෙනුවට මාතර මහාමායා බාලිකා විද්‍යාලය' භාවිතයට ගැනිමයි. මෙතුමිය පාසලේ වර්තමාන ටයිපටිය (නිල් සහ කහ ඉරි වලින් සමන්විත) භාවිතයට ගැනීම ඇයගේ කාලයේ එකතු වූ සංස්කෘතිකාංගයක් වේ.

  1. එන්. හත්කොටුව විදුහල්පතිනිය (1987-2005)

එන්. හත්කොටුව මහත්මිය වසර 18 ක දීර්ඝ කාලයක් පාසලේ ප්‍රගතිය හා සංවර්ධනය ඉලක්ක කර ගෙන අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය සමගාමී කටයුතුවලට ද දරුවන් යොමු කරමින් සුවිශේෂි මෙහෙයක් ඉටුකර ඇත. පාසලේ ප්‍රථමවරට නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් සංවිධානය කොට පැවැත්විමද මෙතුමියගේ කාලයේ සිදුවූවකි. අ.පො.ස.(උ.පෙළ) සඳහා වාණිජ විෂය ධාරාව එකතු කිරීම මෙතුමියගේ කාලයේ සිදුවූ සුවිශේෂීතම කාර්යයකි.

  1. තමරා දුනුවිල විදුහල්පතිනිය (2005-2009)

මෙතුමිය වසර 4ක සේවා කාලය තුළ පාසලේ දියුණුව හා ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළාය.ශිෂ්‍ය සාධන මට්ටම මැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග දියත් කරමින් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයන් වඩාත් ප්‍රතිඵලදායක ලෙස ඉහළ නැංවූ මෙතුමියවිද්‍යාගාර, පුස්තකාල පහසුකම් ආදිය මේ කර්තව්‍යය සඳහා උපකාර කරගෙන ඇත. රතුකුරුස සංවිධානය, තූර්යවාදක කණ්ඩායම, ඉංග්‍රීසි -සිංහල සාහිත්‍ය සමිති, බෞද්ධ සමිති මෙන්ම සංගීත කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සකස් කිරීමද මෙතුමියගේ කාලයේ සිදුවූ සේවාවන්ය. සැබවින්ම මහාමායා ඉතිහාසයේ මානව මෙන්ම භෞතික සම්පත් සංවර්ධනයෙහි යහපත් කාලයක් ලෙස සැලකිය හැකිය.

  1. ඩී.එස්. විදානපතිරණ විදුහල්පතිනිය (2009-2013)

මෙතුමිය ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නැංවීම මෙන්ම භෞතික සම්පත් ගොඩනැගීම වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලැබුවාය. මෙතුමිය 2004 සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ භෞතික සම්පත් නැවත යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පාසලේ ප්‍රගතිය සඳහා උර දී ක්‍රියා කළාය.

6.රත්නා ජයනෙන්ති විදුහල්පතිනිය (2013- 2015)

වසර 2ක කාලයක් පාසලේ භෞතික සම්පත් ගොඩනැංවීමට කැපවී කටයුතු කර ඇත. කසල කළමනාකරණය, ජල කළමනාකරණය, ගෙවතු වගාව, ශ්‍රමදාන ව්‍යාපෘතිය ආදී පරිසරය සම්බන්ධ ව්‍යාපෘති රැසක් දියත් කරමින් පාසල් පිරියත ක්‍රමවත් කිරීමට ප්‍රයත්න දැරූ විදුහල්පතිනියකි. පාසලේ ගොඩනැගිලි අලුත්වැඩියාව, විද්‍යාගාර පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීමටද සක්‍රියව දායක වී ඇත.

මෙලෙස දිගු ඉතිහාසයකට උරුමකම් කියන මහාමායාවේ වර්තමාන විදුහල්පතිනිය දිස්නා සේනානායක මැතිනියගේ අප්‍රතිහත ධෛර්යය හා මඟ පෙන්වීම මත නොසැලෙන ඉදිරි ගමනකට අවතීර්ණව සිටින්නීය.සුනාමි ව්‍යවසනයෙන් මහාමායා ඉතිහාසගත තොරතුරු මුහුදු රකුසා විසින් ගිලගත්තද ශේෂ වූ තොරතුරු තුළින් මහාමායාවේ ඉතිහාසය වර්තමානයටද ආශිර්වාදයක් වීමඟ පෙන්වන බව කීම සත්‍යයකි.

7. දිස්නා සේනානායක විදුහල්පතිනිය (2015- 2020)

Login Form

 

 

Current Visitors

We have 454 guests and no members online